වයස අවුරුදු දාහතරක් වන පොඩි කෙල්ලක් කකුලේ කැක්කුමකට බෙහෙත් දාගන්න ඇවිල්ලා.... ඒ සමගම ඇවිත් හිටපු වැඩිහිටි කාන්තාවගෙන් මම ඇහුවේ මෙයට පෙරත් බෙහෙත් දාගෙන ගියා කියලා කියපු නිසා...
"අනේ සර් ඒක හොයාගන්න බැරි වුණා...ඊයේ දානේ තිබුණා නේ ඒකට ගේ අස් කරලා ඒක හොයාගන්න බැරි වුණා.."
බයාදු හඩකින් ඒ කාන්තාව කිව්වා....
"දානේ...?"
"ඔව් සර් මෙයාගේ තාත්තා මැරිලා සතියක් නේ.. එකේ දානේ ඊයේ තිබුණා.."
"තා... තා... ත්තා...?"
මට ඇත්තටම වචන පැටලුනා.... කිසිම වෙනසක් නැතිව මගේ දිහා බලන් ඉන්න ඒ දරුවාගේ ඇස් දෙක දැකලා... ඒ ඇස් වල කිසිම තෙතක් තිබුණේ නැහැ...
"ඔව් සර් එයා ගල් වලේ නේ වැඩ කරේ... එකෙන් වැටිලා තමයි මැරුනේ.... අඩි 38 ක් විතර උඩ ඉඳන් වැටිලා තිබුණේ... ඔලුව වැදිලා..."
"එතකොට ඔයා කව්ද....?"
කිසිම වෙනසක් නැතුව ඔහේ කියවගෙන යන ඇයගෙන් මම ඇහුවා....
"එයා මගේ මහත්තයා තමයි... මෙයාගෙ තාත්තා... ගල් වලේ වැඩ කරේ සර්.... ගිය සතියේ තමයි වැටිලා මැරුණේ... එයාට එච්චර වයස නෑ සර්... 48 යි..."
"ඉතිං ඔයාලා කතා කරාද...? වන්දියක් ගන්න... දැන් මේ දරුවා ඉස්කෝලේ එහෙම යනවා නේද..?"
"ඔව් සර් එයාලා ඇවිල්ලා ඔක්කොම සල්ලි දීලා තමයි කොළඹ ගියේ... දානේ ට සල්ලි ඔක්කොම දුන්නා... කොළඹ ගිහින් ඇවිත් කතා කරනවා කිව්වා... දුවලා දෙන්නා නේ ඉන්නේ සර්.... එක්කෙනෙක් කඩේක වැඩ..."
ඒ අම්මා කියවගෙන යනවා.. අර දරුවා බලන් ඉන්නවා....
"එහෙම නෙමෙයි..... ඔයාලට නැද්ද කවුරුත් කතා කරන්න ඔය ගැන.... දන්න කියන කෙනෙක්....?"
"නෑ නේ සර්...."
????????????????
ඒ අම්මයි දුවයි.... තාමත් මගේ මනසේ....
මම දන්නේ නෑ ඒ හැගීම... ඔවුන් ඇඩුවේ නැහැ... කදුළු ආවේ නෑ ඒ ඇස් වලට.... ඔවුන් දුක වෙන්කර අදුර ගන්න බැරි තරම් දුකම විඳින මිනිසුන්...
මේක මම භාවිතා කරන්න අකමැති හැඳින්වීමක්... නමුත් ඔවුන්
"වතු කම්කරුවන්".......?
හැම දවසකම මේ වැනි එක් කතාවක් හෝ අහන්න ලැබෙනවා.......
වෛද්‍ය වෘත්තිය අපහසුයි... රාජ්‍ය සේවයේ දී දවස අවසානයේ එය අතිශයෙන්ම වෙහෙසකාරීයි....!
No comments:
Post a Comment