Thursday, June 6, 2019

කොළ කැඳ

සර් කොළ කැඳ බිව්වට කමක් නැද්ද?
මොකක්ද?
මා ඉදිරිපිට අසුනේ වාඩිවී සිටින රෝගියාගේ පැනයෙන් වික්ෂිප්ත වූ මම එසේ ඇසුවේ ඇගේ පැනය මට නොඇසූනු නිසා නොවන බව ඇයට ද
වැටහුනි
නෑ සර්, මම ගුරුවරියක් මම උගන්වන්නේ අහවල් ඉස්කොලේ.
ලාංකීය දේශපාලනය විසින් දුෂ්කර ලෙස වර්ග කරන ලද ප්‍රදේශයක පිහිටි පාසලක නමක් ගුරු මවගේ මුවින් පිටවිය.
ඇයි ටිචර් මොකක්ද ප්‍රශ්නේ?
නැ සර් මේකයි අපේ ඉස්කොලේ දුෂ්කර පාසලක් ඉතින් ලමයින්ට දිවා ආහාරය දෙනව.
ඒත් ළමයින් ගෙදරින් ගේන කෑම එක බැලුවහම ඒකේ වැඩිපුරම තියෙන්නේ පොල් සම්බෝල යි බතු යි. ඒක නිසා මම යෝජනා කරා ලමයින්ට කොළ කැඳ එකක් දෙන්න.
දැන් සතියක් විතර වැඩේ කරගෙන යනවා දවස් බෙදාගෙන අම්මලා තමයි කොළ කැඳ හදාගෙන එන්නේ.
ඒත් අම්මලා අතර කතාවක් යනවා මේක හොඳද දන්නේ නෑ අපේ ලමයින්ට සෙම් අමාරු හැදෙයිද දන්නේ නෑ කියල.
අපේ ප්‍රින්සිපල් සර් කියනවා ලමයින්ට බඩේ අමාරුව හැදෙයිද දන්නේ නෑ ඕවා දීලා, අනේ මන්දා ටිචර මගේ රස්සාව ගහලා යන වැඩ මෙවා වගේ කතා. ඒකයි මම සර්ගෙන් ඇහුවේ.
මට ලැබී ඇති තොරතුරු නිවැරැදි නම් මා සේවය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු බර දරුවන් වැඩිම පිරිසක් සිටිනුයේ මෙම ගුරු මව සේවය කරන පාසල පිහිටි වසම තුල ය.
තවද මාගේ මතකය නිවැරදි නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ ආරාධනය අනුව වසමේ අඩු බර දරුවන් සිටින මව්වරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තවම සතියක් ඉක්ම ගොස් නැත.
එම වැඩසටහන තුළදී ද අප පුන පුනා ප්‍රකාශ කර සිටියේ දරුවන්ට පිටි කිරි නොදී ඒ වෙනුවට කොළ කැඳ එකක්, කුරක්කන් කැඳ, කිතුල් පිටි කැඳ ආදී වූ වෙනත් ආදේශක ලබා දෙන ලෙස හා එහි ඇති පෝෂණීය වටිනාකමයි. අප සේවය කරන මෙම පළාත ලංකාවේ ආහාර විවිධත්වය වැඩිම පලාතක්. එසේම මේ කියන ප්‍රදේශය තවමත් ග්‍රාමීය ලක්ෂණ වලින් හෙබි නාගරීකරණය නම් වූ ව්‍යසනය වෙලා නොගත්ත ප්‍රදේශයක්. කොටින්ම කට පුරා කිවහැකි ගමක්. සෑම බිම් අඟලකම කෑමට ගත හැකි යමක් වැවෙන, කොස් දෙල් අඩුවක් නැති ගමක්. ගමකට උරුම බොහෝ දේවල් සහිත එහෙත් මිනිසුන් රහිත ගමක්. මේ මිනිස්සු ගතින් ගමේ සිටියද මනසින් බොහෝ දුරක,කිව නොහැකි ඉසව්වක කුමක්දෝ විස්තර කල නොහැකි දෙයක පැටලී සිටින පිරිසක්. මහජන සෞඛ්‍ය පිළිබඳව කතා කරන බොහෝ අය කියන දෙයක් තමයි නාගරිකව ජීවත් වන ජනතාව වැඩිපුරම බෝ නොවන රෝග වලට ගොදුරු වීම ඔවුන්ගේ ආහාර රටාව හා බැඳි ඇති බව. ඔවුන් ක්ෂණික ආහාර පාන වර්ග වැඩිපුර භාවිතා කිරීම, දේශීය ආහාර පාන ලබා ගැනීමට ඇති නොහැකියාව ආදී වූ කරුණු. නමුත් මේ ප්‍රදේශයේ සේවයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ දී එම ප්‍රකාශනයේ යම් කිසි වෙනසක් සිදු විය යුතුයි යන්න මම වටහා ගත් කරුණක්. මොකද ග්‍රාමීය ජනතාවට සාපේක්ෂව නාගරික ජනතාව දේශිය ආහාර පාන ලබා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වන බව සහ ඔවුනට ඒ සඳහා වැඩි ඉඩක් ඇති බව. නගරයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණ තුළ අද වන විට කොස් දෙල් ආදී වූ බොහෝ දේශීය ආහාර මෙන්ම පලා වර්ග බහුලව දක්නට ලැබෙනවා. සාදා ගැනීමට පහසු අයුරින් සකස් කරන ලද දේශීය ආහාර නිෂ්පාදන බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේම ඔවුන් ඒවා ආහාරයට එක් කර ගන්න වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් එයට සාපේක්ෂව ග්‍රාමීය ජනතාව සිටින්නේ වෙනත් මානයක ඔවුන් පෝෂණය ලෙස සලකණු ලබන්නේ කිරිපිටි හා නොයෙකුත් වර්ණක යෙදු කෘතිම ආහාර පාන. සමහර මව්වරුන් කැද එකක් හදන්න දන්නේ නෑ දරුවන්ට කවදාවත් කැද එකක් දීලා නෑ. ඉතින් දරුවන්ගේ වැඩීම දුර්වලයි. බර අඩු යි.ඌණ පෝෂණය නිසා මේ දරුවන් අධ්‍යාපනය ට දුර්වල වෙනවා. එහෙම කතා කරගෙන ගියොත් මෙක අපේ රටේ සමාජ ආර්ථික දේශපාලන ගැටලුවක්. මොකද මේ අපි කතා කරන්නේ අපේ රටේ අනාගතය ගැන. අපි කොච්චර කිව්වත් පිටි කිරි දෙන්න එපා ඒවායින් කිසිම පෝෂණයක් ලැබෙන්නේ නෑ කියලා ඔවුන් ඒක විශ්වාස කරන්නේ නෑ. කෘතිම ආහාර පාන, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන ලද ආහාර පාන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන බව කොච්චර කිව්වත් වැඩක් නෑ. දෙමාපියන් හිතන්නෙම ටී වී එකේ පෙන්නන දේවල් තමයි දරුවන්ට දෙන්න ඕන කියලා. මොකද මේ රටේ වෙළදාම කියන එකට කිසිම පාලනයක් නැති නිසා. වෙළද දැන්වීම් වලට පාලනයක් නැති නිසා. අඩුම තරමේ ළදරු ආහාර පාන සදහා වත් මේ තත්ත්වය පාලනය කල යුතු වෙනවා. වෙලඳ දැන්වීම සදහා පාලනාධිකාරියක් ඉතා ඉක්මනින් ම ඇති කල යුතු වෙනවා. ඒ වගේම පෝෂණය පිළිබඳ ව නිවැරැදි දැනුමක් පාසල් සිසුන් තුළ ඇති කිරීමත් වැදගත්. මොකද ඔවුන් හෙට දිනයේ දී වැඩිහිටියන් වන නිසා. එසේ නොවුනහොත් රෝගී පරපුරක් විසින් පාලනය කරන රටක් නුදුරු අනාගතයේදී ම දැක ගැනීමට හැකි වනු ඇත.....

වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ
2019 ජුනි





No comments:

Post a Comment