ජනාධිපතිවරණය අවසන් වෙලා හරියටම මාසයක් වෙනකොට මට මතක් වුණේ ෆේස්බුක් එකේ ඒ දවස්වල ශෙයා වෙච්ච පෝස්ට් කීපයක්. ඒ තමයි ජනාධිපතිවරණය අළලා සිදුවෙච්ච ඔට්ටු ඇල්ලීම්. ඒ දිනවල ශෙයා වෙච්ච ඔට්ටු බැලුවහම බහුතරයකම තෑග්ග විදියට තිබුණේ "මත්පැන්". විශාල වශයෙන් ශෙයා වෙච්ච එක පෝස්ට් එකක තෑග්ග උනේ අරක්කු බෝතල් පහක් බයිට් එකට මස් කිලෝ එකක්. මේ එවැනි එක් ඔට්ටුවක් පමණයි. මෙතනදී මට ආපු ගැටලුව තමයි ඇත්තටම ඔට්ටු අල්ලන අයට අවශ්‍ය වුණේ තමන් සහයෝගය දක්වන අපේක්ෂකයාගේ ජයග්‍රහණය ද එහෙමත් නැත්නම් අරක්කු ටිකක් බොන්න නිමිත්තක් හදාගන්න එක ද කියන එක. මොකද ජනාධිපතිවරණයෙන් කවුරු සහයෝගය දක්වන අපේක්ෂකයා ජයග්‍රහණය කරත් ඒ ඔට්ටුවට සහභාගී වුනු දෙන්නම තෑග්ග වටා වාඩිවෙන එක අනිවාර්යයෙන් ම සිදු වෙන දෙයක්.... අද වෙනකොට ලංකාවේ තරුණ පරම්පරාවට මත්පැන් පානය සඳහා නිමිත්තක් නොවන දෙයක් නෑ. දරුවෙක්ගේ උපත ඉඳලා මරණය දක්වා. නොඑසේ නම් කොටහළු අවස්ථාවේ සිට මගුල දක්වා. මේ ඕනෑම අවස්ථාවක් ඔවුන්ට නිමිත්තක්. බණ ගෙදර, පිරිත් ගෙදර, දක්වා මේ සියල්ලම ඔවුන්ට නිමිති. ඉරිදා නිමිත්තක්, පෝය දවස නිමිත්තක්.මේ සඳහා ඔවුන් ට පුදුමාකාර සංවිධාන ශක්තියක් තියෙනවා.අනෙක් කාරණය තමයි මේ විදිහට මත්පැන්වලට ඇබ්බැහි වුනු පුද්ගලයන් ඒ සඳහා දක්වන්න පුදුමාකාර කෑදරකම. පහුගිය දිනවල ශෙයා උන තවත් එවැනිම වීඩියෝ එක් එක් වුණේ ඉන්දියාවේ යම් ප්‍රාන්තයක වහලා තිබුණ මත්පැන් ශාලාවක් විවෘත කරනකොට ඒ අසලට දිව යන මිනිස්සු. කඩුවක් අමෝරා ගත්ත කෙනෙක් ජීවිතය ඩැහැගන්න තමන්ගේ පිටිපස්සේ හඹාගෙන එනව වගේ ඒ මිනිස්සු මත්පැන් ශාලාව අසලට දිව යන්නේ. ලංකාවෙත් යම්තාක් දුරකට මෙයට සමාන දෙයක් දැකගන්න පුලුවන්. ඉදිරි දින දෙක තුළ ලංකාවේ සියලුම මත්පැන් ශාලා වහනවා කියලා නිවේදනය කරානම් එදා දවසේ බාර් ඉස්සරහ පෝලිම බලාගන්න පුළුවන්.හරියට මාසෙකට සැරයක් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ඉස්සරහ සීනි පෙත්ත,ප්‍රේෂර් පෙත්ත, ගන්න මිනිස්සු පෝලින් ගැහිලා ඉන්නවා වගේ. මේ හරහා සිදුවන සමාජ ආර්ථික හානිය අතිවිශාලයි. පවුල් සංස්ථාව බිඳ වැටීම තුලින් සිදුවන සමාජ හානිය. එය රටේ ආර්ථිකයට සිදු කරන හානිය. ලංකාවට මත්පැන් හඳුන්වා දීමේ සිට මේ දක්වා සිදුවී තිබෙන විකාශනය සියුම්ව නිරීක්ෂණය කරන විට සෑබෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණය අප නිසි ලෙස හඳුනාගෙන තිබේ ද යන්න ගැටලුවක් .......
වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ
2019 දෙසැම්බර්
No comments:
Post a Comment