Tuesday, June 16, 2020

හුදෙකලාව

නුඹ සමග මා ගෙවූ කාලය
කොතෙක් දැයි මම තවම නොදනිමි
තවත් කොපමණ කලක් වුව මට
හැකිය නුඹ සමගින්ම ඉන්නට
නොමැත කිසි දින අඩ දබර
දුක් සුසුම් හෝ සෝ සුසුම්
මා කියන ඕනෑම දෙයකට
තුෂ්නිම්භූත භාවයෙන් ම අනුමැතිය දෙන
නුඹ වැනිම වූ තවත් කෙනෙක්
නොමැත කිසි දිනෙක කිසි කලෙක
යහළුවන් හෝ නොනෑයින්
ඥාතීන් හෝ පසමිතුරන්
අතර මා හට සොයා ගන්නට
ඉදින් මා ප්‍රිය මිතුර
යහළුව,ඥාතිය
ඉවත්ව යමි 
හුදෙකලාව නම් වූ 
නුඹෙන් 
දියන් මට අවසර...

-සුපුන් උඩුගමකෝරාළගේ-

Saturday, June 6, 2020

නඩු දිනය

සැමරුම් 
අතර
ඔබ 
වෙනුවෙන්
ඇති
එකම 
සැමරුම 
නඩු දිනය...

-සුපුන් උඩුගමකෝරාලගේ -


Wednesday, June 3, 2020

පොත් සැණකෙළිය

ඔයා දැම්මද 
විසිපහයි 
විසිහයයි 
නිවාඩු
විසිඑක ගිහින් වැඩක් නෑ
හුඟක් පරක්කු වෙලා බෑ
ඉරිද නම් වැඩිවෙයි සෙනඟ 
යමුද අපි වෙලා රෑ  
පොරොන්දු වුනා 
ඔයා මට ගිය පාර 
එක්ක යනවයි කියල 
දින දෙකක් මේ පාර
------------------------------
තාම නෑ 
මේ මාසේ පඩිය 
කලින් ම ඇවිත් 
පොත් සැණකෙළිය….

-සුපුන් උඩුගමකෝරාලගේ-



BMICH

ආවා මෙවරත්
කන්න නූල්ඩ්ස්
මෙන්න බොලේ
හැමතැනම
දාලා කඩ, 
පොත්… 

-සුපුන් උඩුගමකෝරාලගේ-
2019 සැප්තැම්බර්


Tuesday, June 2, 2020

මට හරිම වෙහෙස යි

උදේම 

බැලුම්ගල 

මට හරිම වෙහෙස යි..

දකුණට සිග්නල් 

පාර පුරා ත්‍රී වීල් 

මට හරිම වෙහෙස යි.. 

පහතට විදුරු ව

පාරට කුණු මල්ල 

මට හරිම වෙහෙස යි.. 

ලොකු වෙනකොට වාහනය 

පොඩි වෙනවා ඔළුව 

මට හරිම වෙහෙස යි.. 

නොමැති නිසා 

ලෙඩේට බෙහෙත 

හොයනවා බෙහෙත ට 

ලෙඩ්ඩු 

මට හරිම වෙහෙස යි.. 

නොමැති නිසා පූර්ණය ඝණ 

දානවා කල් මැතිසබය 

මට හරිම වෙහෙස යි.. 

අගමැති ට බෑලු තනියම

බාරගන්න පාඩුවේ වගකීම

ගත්ත කෘෂිකර්මෙට පායේ 

මට හරිම වෙහෙස යි.. 

ඉන්නවා බාගයක් රටෙන් 

වෙන්න අපේක්‍ෂක ජනපති  

තෝරලා මූන්ගෙන් එකෙක් 

මට හරිම වෙහෙස යි.. 

මට

හරිම වෙහෙස යි... 


-සුපුන් උඩුගමකෝරාලගේ-

2019 සැප්තැම්බර් 

Monday, June 1, 2020

ශ්‍රී ලාංකේය තාරුණ්‍ය හා මත්පැන්

ජනාධිපතිවරණය අවසන් වෙලා  හරියටම මාසයක්   වෙනකොට මට මතක් වුණේ ෆේස්බුක් එකේ ඒ දවස්වල ශෙයා වෙච්ච පෝස්ට් කීපයක්. ඒ තමයි ජනාධිපතිවරණය අළලා සිදුවෙච්ච ඔට්ටු ඇල්ලීම්.  ඒ දිනවල ශෙයා වෙච්ච ඔට්ටු බැලුවහම  බහුතරයකම තෑග්ග විදියට තිබුණේ  "මත්පැන්". විශාල වශයෙන් ශෙයා වෙච්ච එක පෝස්ට් එකක තෑග්ග උනේ අරක්කු බෝතල් පහක් බයිට් එකට මස් කිලෝ එකක්. මේ එවැනි එක් ඔට්ටුවක් පමණයි. මෙතනදී මට ආපු ගැටලුව තමයි ඇත්තටම  ඔට්ටු අල්ලන අයට අවශ්‍ය වුණේ තමන් සහයෝගය දක්වන අපේක්ෂකයාගේ ජයග්‍රහණය ද එහෙමත් නැත්නම් අරක්කු ටිකක් බොන්න නිමිත්තක් හදාගන්න එක ද කියන එක. මොකද ජනාධිපතිවරණයෙන් කවුරු සහයෝගය දක්වන අපේක්ෂකයා ජයග්‍රහණය කරත් ඒ ඔට්ටුවට සහභාගී වුනු දෙන්නම තෑග්ග වටා වාඩිවෙන එක අනිවාර්යයෙන් ම සිදු වෙන දෙයක්.... අද වෙනකොට ලංකාවේ තරුණ පරම්පරාවට මත්පැන් පානය සඳහා නිමිත්තක් නොවන දෙයක් නෑ. දරුවෙක්ගේ උපත ඉඳලා මරණය දක්වා. නොඑසේ නම් කොටහළු අවස්ථාවේ සිට  මගුල දක්වා. මේ ඕනෑම අවස්ථාවක් ඔවුන්ට නිමිත්තක්. බණ ගෙදර, පිරිත් ගෙදර, දක්වා මේ සියල්ලම ඔවුන්ට නිමිති. ඉරිදා නිමිත්තක්, පෝය දවස නිමිත්තක්.මේ සඳහා ඔවුන් ට පුදුමාකාර සංවිධාන ශක්තියක් තියෙනවා.අනෙක් කාරණය තමයි මේ විදිහට මත්පැන්වලට ඇබ්බැහි වුනු පුද්ගලයන් ඒ සඳහා දක්වන්න පුදුමාකාර කෑදරකම. පහුගිය දිනවල ශෙයා උන තවත් එවැනිම වීඩියෝ එක් එක් වුණේ ඉන්දියාවේ යම් ප්‍රාන්තයක වහලා තිබුණ මත්පැන් ශාලාවක් විවෘත කරනකොට  ඒ අසලට දිව යන මිනිස්සු. කඩුවක් අමෝරා ගත්ත කෙනෙක් ජීවිතය ඩැහැගන්න තමන්ගේ පිටිපස්සේ හඹාගෙන එනව වගේ ඒ මිනිස්සු මත්පැන් ශාලාව අසලට දිව යන්නේ. ලංකාවෙත්  යම්තාක් දුරකට මෙයට සමාන දෙයක් දැකගන්න පුලුවන්.  ඉදිරි දින දෙක තුළ ලංකාවේ සියලුම මත්පැන් ශාලා වහනවා කියලා නිවේදනය කරානම් එදා දවසේ බාර් ඉස්සරහ  පෝලිම බලාගන්න  පුළුවන්.හරියට මාසෙකට සැරයක් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ  ඉස්සරහ සීනි පෙත්ත,ප්‍රේෂර් පෙත්ත, ගන්න මිනිස්සු පෝලින් ගැහිලා ඉන්නවා වගේ. මේ හරහා සිදුවන සමාජ ආර්ථික හානිය අතිවිශාලයි. පවුල් සංස්ථාව බිඳ වැටීම තුලින් සිදුවන සමාජ හානිය. එය රටේ ආර්ථිකයට සිදු කරන හානිය. ලංකාවට මත්පැන් හඳුන්වා දීමේ සිට මේ දක්වා සිදුවී තිබෙන විකාශනය සියුම්ව නිරීක්ෂණය කරන විට සෑබෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණය අප නිසි ලෙස හඳුනාගෙන තිබේ ද යන්න ගැටලුවක් .......


වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ

2019 දෙසැම්බර්