Friday, March 15, 2024

තාත්තා ගේ දානේ

"බෙහෙත් ගන්න ආවා නම් කෝ තුණ්ඩුව... මේ අළුත් තුණ්ඩුවක් නේ අද දාලා තියන්නේ...?"

වයස අවුරුදු දාහතරක් වන පොඩි කෙල්ලක් කකුලේ කැක්කුමකට බෙහෙත් දාගන්න ඇවිල්ලා.... ඒ සමගම ඇවිත් හිටපු වැඩිහිටි කාන්තාවගෙන් මම ඇහුවේ මෙයට පෙරත් බෙහෙත් දාගෙන ගියා කියලා කියපු නිසා...

"අනේ සර් ඒක හොයාගන්න බැරි වුණා...ඊයේ දානේ තිබුණා නේ ඒකට ගේ අස් කරලා ඒක හොයාගන්න බැරි වුණා.."
බයාදු හඩකින් ඒ කාන්තාව කිව්වා....
"දානේ...?"
"ඔව් සර් මෙයාගේ තාත්තා මැරිලා සතියක් නේ.. එකේ දානේ ඊයේ තිබුණා.."
"තා... තා... ත්තා...?"
මට ඇත්තටම වචන පැටලුනා.... කිසිම වෙනසක් නැතිව මගේ දිහා බලන් ඉන්න ඒ දරුවාගේ ඇස් දෙක දැකලා... ඒ ඇස් වල කිසිම තෙතක් තිබුණේ නැහැ...
"ඔව් සර් එයා ගල් වලේ නේ වැඩ කරේ... එකෙන් වැටිලා තමයි මැරුනේ.... අඩි 38 ක් විතර උඩ ඉඳන් වැටිලා තිබුණේ... ඔලුව වැදිලා..."
"එතකොට ඔයා කව්ද....?"
කිසිම වෙනසක් නැතුව ඔහේ කියවගෙන යන ඇයගෙන් මම ඇහුවා....
"එයා මගේ මහත්තයා තමයි... මෙයාගෙ තාත්තා... ගල් වලේ වැඩ කරේ සර්.... ගිය සතියේ තමයි වැටිලා මැරුණේ... එයාට එච්චර වයස නෑ සර්... 48 යි..."
"ඉතිං ඔයාලා කතා කරාද...? වන්දියක් ගන්න... දැන් මේ දරුවා ඉස්කෝලේ එහෙම යනවා නේද..?"
"ඔව් සර් එයාලා ඇවිල්ලා ඔක්කොම සල්ලි දීලා තමයි කොළඹ ගියේ... දානේ ට සල්ලි ඔක්කොම දුන්නා... කොළඹ ගිහින් ඇවිත් කතා කරනවා කිව්වා... දුවලා දෙන්නා නේ ඉන්නේ සර්.... එක්කෙනෙක් කඩේක වැඩ..."
ඒ අම්මා කියවගෙන යනවා.. අර දරුවා බලන් ඉන්නවා....
"එහෙම නෙමෙයි..... ඔයාලට නැද්ද කවුරුත් කතා කරන්න ඔය ගැන.... දන්න කියන කෙනෙක්....?"
"නෑ නේ සර්...."
????????????????

ඒ අම්මයි දුවයි.... තාමත් මගේ මනසේ....
මම දන්නේ නෑ ඒ හැගීම... ඔවුන් ඇඩුවේ නැහැ... කදුළු ආවේ නෑ ඒ ඇස් වලට.... ඔවුන් දුක වෙන්කර අදුර ගන්න බැරි තරම් දුකම විඳින මිනිසුන්...
මේක මම භාවිතා කරන්න අකමැති හැඳින්වීමක්... නමුත් ඔවුන්
"වතු කම්කරුවන්".......?

හැම දවසකම මේ වැනි එක් කතාවක් හෝ අහන්න ලැබෙනවා.......

වෛද්‍ය වෘත්තිය අපහසුයි... රාජ්‍ය සේවයේ දී දවස අවසානයේ එය අතිශයෙන්ම වෙහෙසකාරීයි....!

හිමිජ්ජා මූ සිකුරු

තවත් නම් බෑ මට 
විදින්නට මේ අවනඩු 
පාන්දර දානවා ගෝරියක් 
සිකුරු එක්කලා සෙනසුරු 
මොකක්දැයි දැන් වී ඇත්තේ 
අහන්නට ආවේ අඟහරු 
අරඹේ ගෙදර 
කරුණ නැන්දා 
දුවනවා ආයෙත් 
සොයමින් කිහිලිකරු 
තාත්තාගේ ම ලේ වෙච්චි 
මදාවියා බාල 
වැටිලා ලූ ආයෙත් 
පැදියෙන් යතුරු 
ඉවරයක් නෑ උන්දැගේ දෙස් දෙවොල් 
වෙච්ච මට සෙනසුරු
නොහොබිනා විහිළුවක් හන්දා 
කකුල් දෙකටම වග කිව් 
කෙල්ල ගේ අයියා 
හන්දියේ මාළු කරූ 
ඔක්කොටම මුල් වෙච්ච  
හිමිජ්ජා මූ සිකුරු

Sunday, November 22, 2020

නුඹ තවම හිස් කොලයක්

එදා වගේම 
අදත් මහ වැස්සක් 
හිත ඉල්ලනවා පෑනක්
ලියන්නට නුඹ ගැන කවියක්..
නොදැනීම ගෙවුනුමුත් වරුවක් 
නුඹ තවම හිස් කොලයක්

ගෙවුණාම තවත් වසරක් 
එකතු වුණි මහ කවි ගොඩක් 
සෙව්ව මුත් කවි අතරේ 
නුඹව, එක දවසක් 
ගොඩක් කවි අතරේ 
නුඹ තවම හිස් කොලයක්...

-සුපුන් උඩුගමකෝරාලගේ-

Breakfast system එක වෙනස්‌ කරන්න..!!!

මේ පහුගිය දිනවල විශාල වශයෙන් සිදු කෙරුණු වෙළෙද ප්‍රවර්ධන වැකියක්..
මේ මොකක්ද කරන්න කියන්නෙ... ආහාර රටාව වෙනස් කරන්න.. ආහාර රටාව කියන්නේ රටක සංස්කෘතිය...සංස්කෘතිය කියන්නේ අඳින ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි.. ඒකට මේ හැම දෙයක්ම අයිති වෙනවා.. හැම දෙයක්ම.. රටක සංස්කෘතිය තුළ තියෙන වැදගත්ම හා ප්‍රබලම දෙයක් වෙන්නේ ඒ රටේ ආහාර රටාව. ඒක ඒ රටට ආවේණික වූ දෙයක්. අපි දැනට මේ භුක්ති විඳින බොහෝ ලෙඩ රෝග වලට හේතුවක් වෙලා තියෙන්නේ අපේ සංස්කෘතිය වෙච්ච ඒ ආහාර රටාව වෙනස් කිරීම.. යම් කිසි රටක යම් ජන වර්ගයක අනන්‍යතාව තහවුරු කර පෙන්වන්න පුළුවන් එක සාධකයක් වන්නේ එම ජන සමාජයේ ආහාර රටාව යි. ආහාර රටාව වෙනස් වෙනවා කියන්නේ ඒ ජන සමාජයේ සංස්කෘතික වෙනස් වෙනවා කියන එක.. සංස්කෘතිය වෙනස් වෙනවා කියන්නේ තව දුරටත් එම ජනතාවට අනන්‍ය වූ ලක්ෂණ නෑ කියන එක.. ඒ කියන්නෙ එම ජන වර්ගය නැහැ.. සංස්කෘතිය වෙනස් කරන්න දගලන රැඩිකල් කියන නව පරපුරේ බොහෝ අය දන්නේ නෑ සංස්කෘතිය කියන්නේ ජන සමාජයම තමයි කියන එක.. ආහාර රටාව, සිරිත් විරිත්, ඇදුම් පැළදුම්, භාෂාව, මේ හැම දෙයකටම කියන තනි නම "සංස්කෘතිය".. කහ පාට උනාට හැම ආභරණයම රත්තරන් වෙන්නේ නෑ.. මොකද රත්තරන් වලට අදාල කොලිටි එකක් තියෙනවා.. ශ්‍රී ලාංකික හරි සිංහල කියල හරි නමක් තිබුණාට වැඩක් නෑ ඒ නම ඇතුලේ නමට අදාළ ටික නැත්නම්.. දැන් මේ breakfast style එක වෙනස් කරලා අපිට මොකක්ද කරන්න කියන්නේ.. පාන් වහල්ලක මාමයිට් ගාගෙන කන්න කියන එකද??? එහෙම නැත්නම් රොටියක මේක ගාගෙන කන්න ද???

-වෛද්‍ය සුපුන් උඩුගම කෝරාලගේ-

Quarantine, Stay Home හා වැඩිහිටි මානසික සෞඛ්‍ය

"Doctor මේ මෙතැනට මොකක් හරි වැටුණාම රිදෙනවා...”
රෝගියා සිය කකුලේ යම් තැනක් පෙන්වමින්
"ඒ කිව්වේ අම්මේ "
මට පැහැදිලි අදහසක් ගැනීමට නොහැකිව..
"නැ මහත්තයා මීට මාස තුනකට කලින් මාව වැටුණා, ඒ වෙලාවේ මගේ කකුලේ මේ මෙතැන මේ පැත්තට මෙව්වා උනා"
(මෙව්වා වීම යනු ලංකාවේ කිනම් හෝ වෛද්‍ය අධ්‍යාපනයක්  ලබන වෛද්‍ය සිසුන්ට සිය උපාධි අධ්‍යනය කාල සීමාව තුළ කෙසේවත් හමු නොවන, සීමාවාසික පුහුණුවේ දී පළමු වරට හඳුනා ගැනීමට ලැබෙන හා රාජකාරි කටයුතු සිදු කරන කාලයේදී ඉතා බහුලව හමුවන රෝග විශේෂයකි. මෙය මෙව්වා වීම, මෙහෙම වීම, පුටු කකුල වැදිලා මෙව්වා වීම, අත දොරට අසුවීමෙන් මෙව්වා වීම ආදී ලෙස අවස්ථා ගණනාවකි)
"ඒ වෙලාවේ බෙහෙත් කරලා හොඳ වුණා.. දැන් මාසයක ඉඳන් මෙතැනට මොකක් හරි වැටුණාම රිදෙනවා"
"ඒ කියන්නේ මේ වතුර බෝතලේ දැන් මම අම්මාගේ කකුල උඩට අතහැරියොත් රිදෙනවා"
මගේ මෙසේය මත වූ විදුරු බෝතලය ඇයට පෙන්වමින් මම ඇසුවෙමි..
"ඔව් ඔව් මහත්තයා දාලා බලන්නකෝ.. "
"දැන් ඇයි අම්මා එහෙම එක එක දේවල් කකුල උඩට දාන්නේ"
" නැ ඉතින්, මේ මෙහෙම අතින් තද කරත් රිදෙනවා "
එවර ඇය, සිය සම්පූර්ණ වෙර එක් අතකට යොදා වැරෙන් සිය පාදයේ අදාළ ස්ථානය තද කලහ..
"අම්මේ ඔය ගාණට තද කරොත් නම් මගේ කකුල වුණත් රිදෙනවා.. අනික එහෙම කකුල තද කරන්නේ මොකටද?? "
" නැ ඉතිං මම ඔය තද කරලා බලනවා රිදෙනවාද කියලා"....
ඇත්තටම ඒ මොහොතේ දී ඇයගේ පාදයේ කිසිදු වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් නොතිබිණි...
නමුත් හිත සැනසීමක් නම් අත්‍යවශ්‍යම වි තිබිණි..


-වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ -
(චායාරුපය අන්තර්ජාලයනි.)

ස්ටාර් තරග හා ටික් ටොක්

මා සේවය කරන ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවට එක එල්ලේම පහලින් පිහිටා ඇත්තේ උත්සව ශාලාවක්. ඉතින් මාසයකට දෙතුන් වතාවක් නොමිලේ සංගීත රසය විඳින්න අවස්ථාව ලැබෙනවා ඒ එහි පැවැත්වෙන විවිධ වූ උත්සව අවස්ථා නිසා. පසුගිය දිනක එහි විවාහ උත්සවයක් පැවැත් වුණා. සමාන්‍යයෙන් එවැනි දිනකට උදෑසන සිට සවස් කාලය දක්වාම ඩී ජේ සංගීතය හෝ කණ්ඩායම් සංගීතයට සවන්දීමේ භාග්‍ය හිමි වෙනවා.. නන්දා මාලිනිය, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ වැනි අය උදැසන ඉන්නකොට ටිකක් දවල් වෙනකොට රූකාන්ත ගුණතිලක, වගේ අය ඇවිල්ලා දවල් 2 පහු වෙනකොට සී ටී ප්‍රනාන්දු, එම් එස්, නිහාල් නෙල්සන් වගේ කට්ටියම එකතු වෙලා අන්තිමට ජිප්සීස්, මේරියන්ස්, සන්ෆ්ලවර් කණ්‌ඩායමක්‌ එක්ක මනාල යුවළ පිටත් වෙලා යන එක සාමාන්‍ය සම්ප්‍රදාය. මේ අතරතුර දෙපාර්ශවයේම නැගී එන ගායක ගායිකාවන් තම තමන්ගේ දක්ෂතාවය එළි දැක්වීම සිදු කෙරෙනවා. මම මේ කියන දවසේ එහි සංගීතය බාර වෙලා තිබුණේ ප්‍රදේශයේ සංගීත කණ්ඩායමකට ඔවුන් මනාලිය කැඳවාගෙන එන අවස්ථාව, කේක් කැපීම වගේම මනාලියගේ අම්මා හැඟුම්බර කරමින්..

රත්තරං දුවේ අපේ රත්තරන් දුවේ... 

වැනි ගීත ගායනා කරනවා.. මෙහෙම කාළය ගෙවිලා ගිහින් නටන වෙලාව ඇවිත්.. දැන් අපිට ඇහෙනවා වේග රිද්ම ගීත.. මේ අතරින් එකපාරටම ඇහෙනවා.. 

සදාදර නයෝ නුඹේ මංගල දිනේ..
ඇරයුම් නැතත් මා ආවා ප්‍රියේ...

ඊලඟට...

මිය යන්න සුදානම් පැරදුම දරන්..
සමරන්න එනවාද සුදු මල් අරන්...

මගේ ඊළඟ බලාපොරොත්තුව දැන් විශාල ගාලගෝට්ටියක් ඇති වෙයි.. මනාලයාට හොඳටම තරහ ගිහින් ඇත්තේ.. නැත්නම් මනමාලයාගේ යාළුවෝ...?? 
නෑ කිසිම වෙනසක් නෑ සාමාන්‍ය විදියට ගෙවිලා ගිය තවත් පැයක දෙකක කාලයකට පස්සෙ සුනිල් එදිරිසිංහ මහතා නැවතත් 

දුවේ.. නුඹ මාගෙ ප්‍රාණය යි... 
....... 
....... සනුහරේ අභිමානය යි... 

උත්සව සභාව සතුටින් විසිර ගියහ.. හොඳයි.. ඒත්..
අපේ රටේ සංගීතය, අපේ තරුණ පරපුර.. අඩුම තරමින් මංගල උත්සව අවස්ථාවකට ගායනා කළ යුතු ගීත ටික තෝරාගන්න බැරි නම්..
රටේ, තියෙන තරමක් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වන ලමුන් සදහා වූ රියලිටි වැඩසටහන් වලට එන ලමුන් කියන සින්දු ටික එක දවසක් අහගෙන ඉන්න මොනාද ඒ ලමයින් කියන්නේ.. වැරදීමකින්වත් ලමා ගිතයක් කියන්නේ නෑ. 
එක්තරා එවැනි වැඩසටහනකදි වයස අවුරුදු අටක විතර පුතෙක් ගායනා කරනවා 

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්.... 
අද නොපැමිණ වෙන දිනයක වැසි රැගෙන එන ලෙසින්.. 
-වික්ටර් රත්නායක - 

ගායනය අවසන් ව මුළු ප්‍රේක්ෂකාගාරය ම අත්පොලසන් දෙනකොට තරග විනශ්චයකාරවරුන් විදිහට හිටපු අපේ රටේ ප්‍රවිණයෝ වන ගායක මාමා සහ ගායිකා නැන්දා ගේ ඇස් වල කඳුළු. 
"මට ඔයාව වඩා ගන්න ඕනේ" 
කියලා ඒ ප්‍රවීණ මාමා කියනකොට
"අති විශිෂ්ටයි පුතේ ඔයා මුල් ගායනයටත් වඩා හොඳින් ගායනා කළා" 
කියලා ඒ නැන්දා කියනවා.. 
තවත් එවැනිම තරගයක පුංචි දරුවෙක් ගායනා කරනවා 

මධූ චන්ද්‍ර යාමේ මෝදු වේ.. 
උන්මාදනීය රාත්‍රියේ..
අනංග දෙවොල් දල්වා දිපාවලී..
මධූ චන්ද්‍ර යාමේ...

කුස පබා චිත්‍රපටය වෙනුවෙන් කසුන් කල්හාර ගායනා කළ ශෘංගාරාත්මක ගීතය.. 

මනි සර් යනුවෙන් ඉන්දියානුවන් හදුන්වන මනිරත්නම් නම් විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පියා විසින් 90 දශකයේ මුල් භාගයේදී නිර්මාණය කළ බොම්බෙ චිත්‍රපටයේත් මෙවැනිම ගිතයක් අන්තර් ගත වුණා. මනීෂා කොයිරාල සමගින් අරවින්ද සාමි ශෘංගාරාත්මක රංගනය.. මෙම චිත්‍රපටයේ ගීත ලංකාවේත් අතිශය ජනප්‍රිය උනා.. මම මේ කතාව කිව්වේ සුනිල් ආරියරත්නයන් කුස පබා චිත්‍රපටය වෙනුවෙන් ඉහත ගීතය කසුන් ලවා ගායන කරවීම හා කසුන් එම ගීයට කල සාධාරණය හදුනා ගැනීමට.. මොකද කුස පබා හා බොම්බෙ තුළ මෙම ගීත යොදාගැනීමේ යම් සමානකමක් තියෙනවා. 
දැන් එතකොට එම ගීය ගායනා කරන අපේ දරුවා?? 
ඔව් එම තරඟය විනිශ්චය සදහා ඇවිත් ඉන්න අපගේ ප්‍රවිණ ගායක මාමා හා නැන්දා 
"අති විශිෂ්ට යි පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා මගේ සුබ පැතුම් ඔයා ට" 
අඩුම තරමින් එම ගීතයේ අර්ථය කුමක්ද එය කොතරම් දුරට ගැලපෙනවා ද කියලා එම දරුවාගේ හිත නොරිදෙන ලෙස පහදා දෙයි කියලා මම බලාපොරොත්තු වුනා. අවාසනාවට මෙම තරගය විනශ්චයකාරවරුන් ලෙස එදින පැමිණ සිටියේ අපේ රටේ මිනිස්සු බොහෝ ආදරය කරන ගෞරව කරන ජනප්‍රිය ගායක ගායිකා දෙපලක්. ඒ වගේම ඔවුන් දක්ෂ සංගීත ගුරුවරුන් ද වෙනවා. අනෙක් අතට මෙම දරුවන් සදහා ගීත තෝරා දෙන ඔවුන්ගේ ගුරුවරුන් ඔවුන්ගේ වගකීම් හරියට ඉටු කරනවාද? එම දෙමාපියන් තමන්ගේ වගකීම් ඉටු කරනවාද?? මොකද ලංකාව වගේ රටක මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන එක විහිළුවක් වෙලා ඉවරයි.. 
අවසාන වශයෙන් අපිට අවශ්‍ය තරු දරුවන් ද?? 
නොඑසේනම් ආකල්පමය වශයෙන් සංවර්ධනය වූ ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් ද?? යන්න දෙමාපියන් විසින් සිතා බැලිය යුතු කාළය එළඹ ඇති බව පමනක් සටහන් කරන්න කැමතියි.. 

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.. 

ස්ටාර් තරග, ටික් ටොක්...???? 

-වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ -

Tuesday, June 16, 2020

හුදෙකලාව

නුඹ සමග මා ගෙවූ කාලය
කොතෙක් දැයි මම තවම නොදනිමි
තවත් කොපමණ කලක් වුව මට
හැකිය නුඹ සමගින්ම ඉන්නට
නොමැත කිසි දින අඩ දබර
දුක් සුසුම් හෝ සෝ සුසුම්
මා කියන ඕනෑම දෙයකට
තුෂ්නිම්භූත භාවයෙන් ම අනුමැතිය දෙන
නුඹ වැනිම වූ තවත් කෙනෙක්
නොමැත කිසි දිනෙක කිසි කලෙක
යහළුවන් හෝ නොනෑයින්
ඥාතීන් හෝ පසමිතුරන්
අතර මා හට සොයා ගන්නට
ඉදින් මා ප්‍රිය මිතුර
යහළුව,ඥාතිය
ඉවත්ව යමි 
හුදෙකලාව නම් වූ 
නුඹෙන් 
දියන් මට අවසර...

-සුපුන් උඩුගමකෝරාළගේ-